රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රසකථා - 3


හතරැස්‌ කොටුව පිළිසකර වෙද්දී රන්සිරිනෙල් මුත්තා දෙව් ලොවට


මීට ශතවර්ෂයකට පමණ ඉහත මෙරට විසූ මහා දානපතියකු වූ මාතර හේනේගම දොන් හෙන්ද්‍රික්‌ අප්පුහාමි හෙවත් හේනේගම සිටු අප්පු රුවන්මැලි සෑරදුන් යළි ගොඩ නැගීමේ මාහැඟි පුන්‍යකර්මයේදී සුවිශාල ධනස්‌කන්ධයක්‌ පරිත්‍යාග කරමින් රන්සිරිනෙල් වෙදැදුරාණන් සමගින් අත්වැල් බැඳ ගත් අයුරු අපි ඉකුත් සතියේ සටහන් කළෙමු.

එතැන් පටන් මෙසේ තමන් සමඟ එක්‌ රොක්‌ වූ සියල්ලන්ගේ ශක්‌තීන් එක මිටට ගත් රන්සිරිනෙල් වෙදැදුරාණන් අපේ උරුමයක්‌ වූ රත්නමාලි සෑ රදුන් අනාගත පරපුරට දායාද කිරීමේ සද්කාර්යයේ යෙදෙන්නට වූයේ ඉදිරියට පැමිණි සෑම අභියෝගයක්‌ම වීර්යයෙන් යුතුව ජය ගනිමිනි.

මෙරට තවත් කීර්තිධර චරිතයක්‌ වූ වලිසිංහ හරිස්‌චන්ද්‍ර මැතිඳුන් අනුරාධපුර නගරය පූජා භූමියක්‌ කළ යුතු බවට හඬනඟමින් එකල පැවැති පාලනයට කරුණු පෙන්වා දෙන්නට වූයේද මෙකී කාලවකවානුවේම විය.

මේ සියල්ල අතරේ රුවන්මැලි සෑ රදුන් යළි ගොඩනඟන්නට පෙරට පැමිණි රන්සිරිනෙල් වෙදැදුරාණන් ඇතුළු පිරිස චෛත්‍යයේ වැඩකටයුතු ක්‍රමක්‍රමයෙන් කරගෙන යන්නට වූහ.

මෙසේ 1912 වසරේ ආරම්භ කෙරුණු එකී ක්‍රියාදාමයට වසරින් වසර ගෙවී යමින් දශකයක පමණ කාලයක්‌ ගත වී 1922 වසරත් උදා වෙමින් තිබුණද පිරිසට චෛත්‍යයේ වැඩ නිමා කර ගැනීමට නම් නොහැකිව තිබිණි. එම කර්මාන්තයේ තිබූ බැරෑරුම් බව සේම යළි ගරා නොවැටී මෙකී සම්පත චිරාත් කාලයකට රැක ගැනීමේ අරමුණින් කටයුතු කිරීමට රන්සිරිනෙල් වෙදැදුරාණන් තුළ වූ ඕනෑකම එකී ප්‍රමාදයට හේතු වූවා නිසැකය.




රන්සිරිනෙල් වෙදැදුරාණන්ගේ 
සොහොන් කොත......

චෛත්‍යයේ වැඩ එසේ බිඳෙන් බිඳ නිමැවෙමින් තිබියදී එකල අනුරාධපුරය වැඳ පුදා ගැනීමට පැමිණි සැදැහැවත්හු දුටුගැමුණු නිරිඳුන් රටට දයාද කළ මේ බොදු උරුමයේ යළි පිබිදීම සියෑසින් දැක බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිත්සතන් පහන් කර ගත්තාහ.


මේ අතරේ කටුනායක ඇවරියවත්තේ කරගෙන යමින් සිටි හෙළ වෙදකමින් දහසක්‌ දෙනා සුවපත් කරන්නා සේම රන්සිරිනෙල් වෙදැදුරාණන් අවට ගම්වාසී පිංවතුන් සමග එක්‌ව ඔවුන් ඒ මහා ශ්‍රම පූජාවට දායක කරගනිමින් සුපුරුදු ලෙස සතිපතා දුම්රියෙන් අනුරාධපුරයට ගොස්‌ සියල්ල සොයා බලන්නට විය.

මෙසේ සෙනඟ රැගෙන අනුරාධපුර යන ගමනේදීත් රන්සිරිනෙල් වෙදැදුරාණන් එම කටයුත්තේ ක්‍රමවත්භාවයක්‌ ඇතිකරනු වස්‌ අපූරු වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මක කර තිබිණි. ඒ අවට ගම්මාන සියල්ල ගෙන කොටස්‌ හතරකට වෙන්කරමින් එක්‌ ගමකට මාසයකට වතාවක්‌ ශ්‍රම පූජාවට දායක විය හැකි වන ලෙස කටයුතු කිරීම විය.

එම බෙදා වෙන් කිරීම සිදු කර තිබී ඇත්තේ ඇවරියවත්ත, අමන්දොළුව, ලියනගේමුල්ලස- සීදූව සහ මූකලන්ගමුව-අම්බලන්මුල්ල වශයෙනි. මේ ගම්මානයන්හි ජනතාව එලෙස අනුරාධපුරයට යද්දී ඉඳහිට ඇතැම් අවස්‌ථාවක හේනේගම සිටු අප්පුද මේ ගමන්වලට රන්සිරිනෙල් වෙදැදුරාණන් සමගින් එක්‌වූයේ දහසක්‌ පිං සිතුවිලිද ඇතිවය. 

මෙසේ චෛත්‍ය රාජයාණන්ගේ කටයුතු සිදුවෙමින් තිබුණු කාලය තුළද සිදුවූ අපූරු සිදුවීම් රැසකි. එසේම මේ පුණ්‍ය කටයුත්තේ පුරෝගාමියා වූ රන්සිරිනෙල් කුමාරසිංහ වෙදැදුරාණන්ගේ ජීවිත අන්දරය තුළද මෙතෙක්‌ අකුරක්‌ ලෙසින් කොතැනකවත් සටහන් නොවුණ රසබර කතා බොහෝමයක්‌ වේ.

පරම්පරාවෙන් උරුම වූ හෙළ වෛද්‍ය ශාස්‌ත්‍රය සමග රන්සිරිනෙල් වෙදැදුරාණන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්‌ත්‍රයේ අගතැන්පත් චරිතයක්‌ බවට පත් වීමේ කතාවද ඉතාම රසවත් විශ්මය දනවන්නකි. අපට මුණගැසුණු මේ වෙද පරපුරේ වත්මන් ජීවමාන පුරුකක්‌ වූ කුමාරසිංහ ඉස්‌කෝලේ මහතා එය හෙළි කරන්නට වූයේ මේ අයුරිනි.

ඔව් මහත්තයෝ, අපේ රන්සිරිනෙල් මුත්තා පොඩි කොලුගැටය කාලේ දවසක්‌ එක පාරටම ගෙදරින් අතුරුදන් වෙලා තියෙනවා. එතන ඉඳන් අවුරුදු ගණනාවක්‌ යනතුරුම මුත්තා ගැන ආරංචියක්‌ තිබිලා නැහැ. රන්සිරිනෙල් මුත්තගේ අම්මා, තාත්තා, සහෝදරයෝ එහෙම හැම තැනම මුත්තව හොයලා හොයලා බැරි තැන හිත හදාගෙන වැඩේ අතඇරලා දාලා.

ඔහොම කාලයක්‌ ගිහින් හිටිහැටියෙම ආයෙත් රන්සිරිනෙල් මුත්තා ගමට ඇවිත් තියෙන්නේ හොඳ තරුණයා කාලේ. ඒ එනකොට රන්සිරිනෙල් මුත්තා ගුරුකම් ශාස්‌ත්‍රයෙන් පළාතම හොල්ලන තත්ත්වයකට පත්වෙලයි ඇවිත් තියෙන්නේ. එදා මුත්තගේ කතාව අහලා අම්මා තාත්තත් පුදුම වෙලා. ඒක හරි පුදුම කතාවක්‌ මහත්තයෝ.

කොලුගැටයා කාලේ රන්සිරිනෙල් මුත්තා එක පාරටම අතුරුදන් වෙලා තියෙන්නේ කවුද පිරිසක්‌ එයාව අරගෙන ගිsහින් තියාගෙන ඉඳලා. ඒ කණ්‌ඩායමේ හිටිය නායකයා විදිහට ඉඳලා තියෙන්නේ හොඳට ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර වැඩ දන්න කෙනෙක්‌. එයා මුත්තට ඒ වැඩ ඔක්‌කොම කියලා දීලා තියෙනවා..

එත් මුත්තට ආයෙත් එන්න පුළුවන් වෙන විදිහට එයා වැඩ කරලා නැහැ. මේ කණ්‌ඩායම එක්‌ක ජීවත් වෙච්ච කාලෙදී මුත්තට රෑට නිදිය ගන්න වෙලා තියෙන්නේ ඔක්‌කොම කට්‌ටිය එක්‌ක එක ගොඩේ. මෙහෙම කට්‌ටිය රෑට නිදා ගන්න ගියහම කණ්‌ඩායමේ නායකයා හැමදාම ඇවිත් පිරිස නිදාගෙන ඉන්න තැන ඉස්‌සරහා පොළොවේ ඉරක්‌ අඳිනවලු.. 

නායකයා එහෙම ඉරක්‌ ඇන්දට පස්‌සේ කණ්‌ඩායමේ කාටවත් රෑට හදිස්‌සියකට හරි ඒ ඉරෙන් පිටට යන්න බැරි වෙලා තියෙනවා. ඔහොම මුත්තව අරගෙන ගිය අය එක්‌ක හැදෙන අතරේ තමයි දවසක්‌ මුත්තට හිතිලා තියෙන්නේ ගෙදර යන්න ඕනෙයි කියලා. එතකොට එයා හොඳ තරුණ වයසේ ඉඳලා තියෙන්නේ..

ඒත් කණ්‌ඩායමේ නායකයා ඒකට ඉඩ දීලා නැහැ. එවෙලේ මුත්තා කල්පනා කරලා තියෙනවා, නැහැ මම කොහොම හරි මෙතනින් යනවාමයි කියලා. ඒත් මුත්තා දන්නවා කණ්‌ඩායමේ නායකයා කරන වැඩේ හින්දා රෑට පැනලා යන්නත් බැරි බව..

මේ අතරේ තමයි දවසක්‌ මුත්තා ඒ කණ්‌ඩායමේ හිටිය තරුණියකගෙන් අහලා තියෙන්නේ "මට ගමට ගිහින් එන්න ඕනේ. ඒත් ලොක්‌කා යන්න දෙන්නේ නැහැ. රෑට යන්න විදිහකුත් නැහැ. මොකද කරන්නේ" කියලා. මේ තරුණිය ඒ කණ්‌ඩායමේ නායකයගේ දුවක්‌..

පස්‌සේ එයා කාටවත් කියන්න එපා කියලා අපේ මුත්තට කියලා තියෙනවා රෑට නිදියගන්න ගියහම ඔය කරේ තියෙන නූල ගලවලා ලොක්‌කා ඇවිත් නිදා ගන්න තැන ඉර ඇන්දහම එළිවෙන්න ඉස්‌සර වෙලා ඒ ඉරෙන් පිටට විසි කරන්න කියලා. ඔය නූල නිසයි ඔයාට රෑට ලොක්‌කා අඳින ඉරෙන් එහාට යන්න බැරි කියලත් ඒ තරුණිය මුත්තට කියලා දීලා..

කණ්‌ඩායමේ ලොක්‌කා මේ වගේ නූලක්‌ මුත්තගේ කරට දාලා තිබිලා තියෙන්නේ මුත්තව අරගෙන ගිය දවසේ ඉඳන්මයි. පස්‌සේ එදා රෑ අපේ මුත්තා අර තරුණිය කිව්ව විදිහටම කණ්‌ඩායමේ නායකයා ඇවිත් නිදා ගන්න තැන ඉරක්‌ ඇන්දට පස්‌සේ රෑ නැගිටලා මුලින්ම කරේ තිබුණු නූල ගලවලා ඒකෙන් එහාට විසි කරලා. ඊට පස්‌සේ තමයි අපේ රන්සිරිනෙල් මුත්තා එතනින් බේරිලා ආයෙත් ගමට ඇවිත් තියෙන්නේ..

තරුණ රන්සිරිනෙල් එසේ තමන් රැගෙන ගොස්‌ සිටි කණ්‌ඩායමෙන් මිදී එන අතරමගදී ද සිදුව ඇති විශ්මිත කතාවක ශේෂයන් අදත් ඇවරියවත්ත ප්‍රදේශයේ ජනතාව අතර පවතී. එය කුමාරසිංහ ඉස්‌කෝලේ මහතාද අපට කියා සිටියකි.

රන්සිරිනෙල් තරුණයා එදා එලෙස තමන් රඳවාගෙන සිටි තැනින් පලා එන අතර මගදී පිපාසයට දිය බිඳක්‌ බොන්නට දංකොටුව ප්‍රදේශයේදී නිවසකට ගොඩවැදී ඇත්තේය. ඒ මොහොතේ එකී නිවසේ වැඩිහිටියන් කිසිවකුත් ඉඳ නැති අතර නිවසේ සිට ඇත්තේ ඉතාම රූබර තරුණියකි.

රන්සිරිනෙල් තරුණයා එකී නිවෙසින් දිය බිඳක්‌ බොන්නට යද්දී ඔහු හැඳ සිට ඇත්තේද අවලස්‌සන වූ වැරහැලි වස්‌ත්‍රයකි. එසේ ජරාවට පත්ව පැමිණියෙකු තමන්ගෙන් පිපාසයට දිය බිඳක්‌ ඉල්ලා සිටියදී මුහුණ ඇඹුල් කර ගත් නිවසේ සිටි තරුණිය ඉතා රළු ලෙස වචන හසුරුවමින් පවසා ඇත්තේ පිපාසයට දෙන්නට දිය පොදක්‌ තමන්ගේ නිවසේ නොමැති බවකි. 

ඒ කතාව ඇසෙත්ම තරුණිය දෙස පුදුමයෙන් බලා සිටි රන්සිරිනෙල් තරුණයා අවසානයේ ඇගේ රූසපුව දෙසද බලා "ආ දිය බිඳක්‌ නැතිනම් නඟාම එන්නකෝයි පවසා එකී නිවසින් පිටව පැමිණියේලු.

එසේa පැමිණි රන්සිරිනෙල් තරුණයා ඇවරියවත්ත ගමටවිත් දෙමාපියන් හා එක්‌ව මඳ කලක්‌ ගතවෙද්දී ඔහුගේ මනාලිය වී අනාගත සහකාරිය බවට පත් වූයේ එදා දංකොටුව නිවසේදී පිපාසයට දිය බිඳක්‌ දෙන්නට අකැමැති වූ රූබර තරුණිය බව අදටත් ඇවරියවත්ත ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රචලිතව තිබෙන්නකි. ඇය නමින් දංකොටුව මැටිකොටුවේ රත්නායක හාමිනේ වූ බවද ඔවුහු පවසති.

මේ විවාහයෙන් පසු රන්සිරිනෙල් වෙදැදුරාණන්ට දාව රත්නායක හාමිනේ දියණියකද ලද්දාය. රන්සිරිනෙල් වෙදැදුරාණන් රුවන්මැලි සෑය යළි ගොඩනැගීමේ පුණ්‍ය කර්මයට මුලපුරන්නේ එයිනුත් අනතුරුව වන්නේය.

මෙසේ ජාතියේ අනාගතය වෙනුවෙන් රුවන්මැලි සෑ උතුම් බොදු උරුමය යළි ගොඩ නැගීමේ කාර්යය අරඹා එහි අවසාන අධියරට ළඟා වීමට රන්සිරිනෙල් වෙදැදුරාණන් ඇතුළු පිරිසට හැකි වී ඇත්තේ විසිවසරක පමණ ඇවෑමෙනි. එය 1932 වසර විය. ඒ වන විට සියල්ලේ අනිත්‍ය බව කියා පාමින් මේ පිංකමේ බොහෝ බර ඉසිලූ මාතර හේනේගම සිටු ගෙදර දොන් හෙන්ද්‍රික්‌ද සිල්වා රාළහාමි හෙවත් හේනේගම සිටු අප්පෝ දෙලොවටම වැඩ පිණිස අනන්තවත් පිං රැස්‌කර මිය පරලොව ගොස්‌ සිටි අතර රන්සිරිනෙල් වෙදැදුරාණන්ද සිටියේ බොහෝ වයස්‌ ගොසිනි.

මේ කාලය වන විට රුවන්මැලි සෑ රදුන් නැවත ගොඩනැගීමේ කටයුතු වූයේ හතරැස්‌ කොටුවේ වැඩ ආරම්භ වීමට ආසන්නයේ විය. එහි මංගල ශිලා ස්‌ථම්භය තැබීමේ කටයුතුද ලහිලහිsයේ සිදු කෙරෙමින් තිබිණි. හිටිහැටියේ රන්සිරිනෙල් වෙදැදුරාණන් රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ මේ අතරතුර කාලයේ විය.

එසේ ගිලන්ව සිටි නමුත් රුවන්මැලි සෑ රදුන්ගේ හතරැස්‌කොටුවේ ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීමේ පුණ්‍ය කර්මයටද සහභාගි වීමට රන්සිරිනෙල් වෙදැදුරාණන්ට අවැසි විය. අවසානයේ ගිලන් බව නිසා ගත වෙහෙසට පත්ව තිබුණද එතුමාණන් සිතේ දිරියෙන් ඊටද එක්‌වී රුවන්මැලි සෑ රදුන්ගේ හතරැස්‌ කොටුව දක්‌වා ගොස්‌ ඒ මහා පිංකමද සියතින්ම සිදු කළේය.

අද අප දකින රත්නමාලි චෛත්‍ය රාජයාණන්ගේ හතරැස්‌ කොටුව යනු කොතරම් වපසරියකින් යුතු තැනක්‌ විය හැකිද? වර්තමානයේ චෛත්‍ය රාජයාණන් ඉදිරියට ගිය කල්හි අපේ නෙත්වලට බැබළෙමින් දිස්‌ වන්නේ රුවන්මැලි සෑයේ දර්ශනීය කොත්කැරැල්ල පමණකි. එහෙත් ඊට යටින් තිබෙන හතරැස්‌ කොටුවේ ප්‍රමාණය අපට සිතා ගත නොහැක්‌කකි.

නමුත් වරක්‌ රන්සිරිනෙල් වෙදැදුරාණන් සිය දරු මුණුබුරන් හා එක්‌වූ අවස්‌ථාවක ඔවුන්ට රුවන්මැලි සෑ රදුන්ගේ හතරැස්‌ කොටුවේ ප්‍රමාණය වටහා දී ඇත්තේ එකල භාවිත වූ බරකරත්ත දෙකක ප්‍රමාණය සිහියට එක්‌කරමිනි. 

එහිදී රන්සිරිනෙල් වෙදැදුරාණන් පවසා ඇත්තේ මග යන බරකරත්ත දෙකක්‌ එකිනෙක පසු කර දෙපසට යන්නේ කෙසේද ඊටත් වැඩි ඉඩ ප්‍රමාණයක්‌ රුවන්මැලි සෑ චෛත්‍ය රාජයාණන්ගේ හතරැස්‌ කොටුවේ පවතින බවකි.

මෙසේ යළි ගොඩනැගුණු රුවන්මැලි චෛත්‍ය රාජයාණන්ගේ හතරැස්‌ කොටුවේ වැඩ ඇරඹී ගෙවී යන්නට වූයේ තවත් වසරක පමණ කාලයකි. මේ අතරේ දිනක්‌ ඇවරියවත්ත ප්‍රදේශය සුදු පැහැ ධජයන්ගෙන් වැසී යන්නට වූයේ ප්‍රදේශවාසී සැවොම අතිශය ශෝකී කම්පනයකට පත්කරමින්ය.

ඒ වයස්‌ගත බව හමුවේ වරින් වර ගිලන් වූ රන්සිරිනෙල් කුමාරසිංහ වෙදැදුරාණන් ජන්මාන්තරගත වීමේ පුවත ඇවරියවත්ත ප්‍රදේශය පුරා පැතිර යැමත් සමගින් විය. අපේකම වෙනුවෙන් අපට උරුම ඒ බොදු උරුමය අනාගත පරපුරට රැක දෙන්නට ගම් පළාතකටම නායකත්වය දෙමින් වෙහෙස වූ බොහෝ පිං ඇති රන්සිරිනෙල් වෙදැදුරාණන්ගේ අභාවය සිදුවූයේ එලෙසිනි. අවසානයේ ඥතිහිතමිත්‍රාදීන් සහ ගම්වාසීහු එක්‌ව එතුමන්ගේ අවසන් කටයුතු මහා ඉහළින් සිදු කිරීමට පියවර ගත්හ. අදටත් ඇවරියවත්තේ රන්සිරිනෙල් වෙදැදුරාණන් ජීවත් වූ නිවස ආසන්නයේ තිබෙන එතුමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමෙන් පසු ඉදි කොට ඇති සොහොන් කොත ඊට ඇති හොඳම සාක්‍ෂිය වේ.

චෛත්‍ය රාජයාණන්ගේ අවසන් අධියරේ කටයුතු නිම කරනු ලැබුවේ කවරෙක්‌ද? ලබන සතියේ බලන්න.

සමන් ගමගේ
ඡායාරූප - ආනන්ද නිශ්ශංක
Related Posts Plugin for WordPress, Blogger...