රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රසකථා - 1

රන්සිරිනෙල් වෙදමුත්තා වැඩට බසී

එකල්හි පොළවේ කිමිද නා ලොවට ගිය සෝණුත්තර සාමණේරයන් වහන්සේ මහාකාල නා රජුන් හමුවී ඇසිපිය ගසන සැණෙකින් නා ලොවින් රැගෙන ආ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් නිධන් කොට තැනුනු මාහැඟි අපේ උරුමයක්‌ වූ රුවන්මැලි මහා සෑය.

මිහිඳු මාහිමියන්ගේ අනාගත වාක්‍යයකට අනුව එහි ඇරඹුම සටහන් කළ දුටුගැමුණු නිරි¹ණන් මියෙන්නට මොහොතකට පෙර සිය සොයුරාගේ ස්‌ථානෝචිත බව හමුවේ තිරයෙන් වටවී සියලු කාර්යය අවසන් වූ ලෙස පෙනෙමින් තිබූ මේ මහා සෑය දැක ඇති වූ තුටින් මරණයට පත්ව තව්තිසා දෙව්ලොව පහළ වීම.

සුදොa සුදුවන්ව දුටුවන් නෙත් සිත් පහන් කරවමින් අනුරපුර පුද බිමේ වැඩ වසන රත්නමාලී මහ සෑ රඳුන් අපට උරුම වීමේ කතාව ඓතිහාසික වෘත්තාන්තයන්හි සඳහන්ව ඇත්තේ එලෙසිනි. 

එකී වෘත්තාන්තයන්ට අනුව දුටුගැමුණු නිරිඳුන් සම්බුදු සසුනේ චිරස්‌ථිතිය උදෙසා රුවන්මැලි මහා සෑය කරවීමේදී සිදුව ඇති සිද්ධීන් සමග කියෑවෙන තවත් කතා රාශියක්‌ද වේ.

දිනක්‌ මසුරම් ලක්‍ෂයක්‌ වැය කොට බෝධි පූජාවක්‌ කර වූ දුටුගැමුණු මහ රජ යළි පැමිණෙමින් සිටියදී මිහිඳු නාහිමියන් කල දෙවන පෑතිස්‌ රජතුමන් විසින් පිහිටුවන ලද ගල් කණුවක්‌ දැක රුවන්මැලි මහා සෑය එම භූමියේ කරවන්නේ යෑයි අධිෂ්ඨාන කර ගත්තේය.

එහෙත් රුවන්මැලි මහා සෑරදුන් කිරීමේදී ජනතාව පිට බර පැටවීම කෙරෙහි අකමැති වන දුටුගැමුණු රජු තෙමේ එය කරවන්නේ කෙසේදැයි කල්පනා කරන්නට විය. එකෙනෙහි රජුගේ පින් සිතුවිල්ල කෙරෙහි තුටු වූ දෙවියන් විහාර කර්මාන්තයට අවැසි දැ සියල්ල අනුරාධපුරයට නුදුරු ගම්මානයන්හි මැවූ බවද එකී කතා අනුව කියෑවෙන්නේය.

ඒ අනුව වෙසක්‌ පුරපසලොස්‌වක දිනෙක විහාර කර්මාන්තයේ වැඩ ඇරඹූ රජු භූමිය සකස්‌ කරවා සත් රියනක්‌ යටට බිම හාරා යෝධයන් ලවා එහි ගල් අතුරවා ඇතුන් ලවා පාගවා රහත් සාමණේරයන් වහන්සේලා ගෙනන ලද ආකාශ ගංගා ජලයෙන් තෙමුණු නවනීල මැටි යොදා ඒ මත ගඩොල්ද, කරගල්ද, යකඩ දැල්ද, බොරළු සහ පලිඟුද අතුරා එකී ගල් තට්‌ටු මත රසදිය හා ගිවුළු මැලියම්වලින් සවි කළ ලෝහ තහඩුවක්‌ද දැම්ම වීය.

අනතුරුව එම ලෝහ තහඩුව මත අඟල් හතක්‌ ඝන රිදී තහඩුවක්‌ද දමා සමස්‌ත ලංකාවාසීන්ටම දන්වා ඇසළ මස පුර පසළොස්‌වක දා මහා සෑය කරවීමේ මංගල ශිලා ස්‌ථම්භය සිදු කළ බවද ඉහත පුරාණ කතාවන්හි සඳහන්ව ඇත්තේය.

නමුත් අපේම උරුමයක්‌ වූ රුවන්මැලි මහා සෑයේ ඓතිහාසික කතාව එසේ වෙද්දී වර්තමානයේ අප දකින චෛත්‍ය රාජයාණන් ප්‍රතිනිර්මාණය වීමේ කතාවේ අතීතය කෙතෙක්‌ දුරට විහිදී තිබෙන්නක්‌ විය හැකිද?

එය මීට ශතවර්ෂයකටත් එහා වූ 1884 තරම් දුර ඈතකට දිවයන්නකි. ඒ හා බැඳුණු අපූර්වතම කතාද රාශියකි. එහෙත් එහෙන් මෙහෙන් කණින් කොනින් ඇසුණද ඒ සියල්ල මෙතෙක්‌ වූයේ අපෙන් සැඟවීය.

එකී සැඟව තිබූ යටගියාව අහම්බයක්‌ ලෙසින් මතු කර ගැනීමේ අවස්‌ථාවක්‌ ඉකුත් දිනෙක අපට හිමි වූයේ කිසි ලෙසකින්වත් නොසිතූ මොහොතක විය. සැබැවින්ම එය අහම්බයකි. වෙනකක්‌ අරබයා අපි එහි ගියෙමු. එහෙත් ගිය අරමුණු පරයා අප තුළ වන සොයා යැමේ වුවමනාව කුළුගන්වමින් කටුනායක සීදුව නගර සභාවේ නාගරික මන්ත්‍රී ගාමිණී හෙට්‌ටිආරච්චි මහතා ඒ කතාව අපට කීවේ එහිදීය. 

"මහත්තයෝ. ඉස්‌සර කාලේ රුවන්මැලි සෑය හදන්න කෝච්චියේ නැගල අනුරාධපුරේ ගිය අපේ පැරැණ්‌නන්ගේ පරම්පරාවල දරු මුණුපුරෝ මේ පළාත්වල ඉන්නවා. ඒක හරිම ලස්‌සන කථාවක්‌.. ගාමිණී මහතා කියාගෙන යයි. 

"කොහෙද ඉන්නේ? එකී වචන කිහිපයෙන්ම මෙහි ඇති රසය වැටහුණු මම ඔහු විමසීමි. කටුනායක ඇවරියවත්තේ ඉන්නවා ඒකට මූලික වෙච්ච රන්සිරිනෙල් කියලා හුඟාක්‌ පරණ වෙද පරම්පරාවක කට්‌ටියක්‌. ඇවරියවත්තේ විතරක්‌ නෙමෙයි. මේ පැත්තේ තියෙන හැම ගමකම වගේ මිනිස්‌සු ඒ දවස්‌වල ඔය පිංකමට ගිහින් තියෙනවා..

ඔහුගේ එම පිළිතුරත් පසු කාලය ගෙන මුලින්ම ආ කාරිය නිම කළ අපි අවසානයේ වෙහෙසද නොතකා ඒ සැඟවුණු අතීතයද සොයා යැමට පිටත් වුණෙමු. ගාමිණී මහතා සිය මෝටර් රථයෙන්ම අපට ඒ සඳහා ගමන් පහසුව සැලසීමට ඉදිරිපත් වූයේ බොහෝ කාරුණික ලෙසිනි.

අපි ගමන් ඇරඹීමු. අලුත් සීදුව පසු කොට පරණ සීදුවෙන් වමට හැරී දුර ගෙවා යන අතරේ මේ අපූරු කතාව පිළිබඳ තවත් බොහෝ දේ අපට කී ගාමිණී මහතා අවසානයේ කටුනායක ඇවරියවත්ත බේස්‌ලයින් මාවතේ ඇති යටත් විජිත යුගයට නෑකම් කියන ඓතිහාසික කුළුණ පසුකර ඉදිරියට යද්දී රථයේ වේගය මඳක්‌ අඩු කරනු ලැබුවේ අප ගමනාන්තයට ආසන්නව සිටින බවට ඉඟි කරමිනි. පසුව තරමක ආයාසයක්‌ දරා ඒ ඉසව්ව සොයා ගැනීමට ඔහු සමත් විය.

කලකට ඉහත බිහි කෙරුණු කටුනායක ආයෝජන කලාපය නිසාවෙන් මේ ප්‍රදේශයේ ඉපැරැණි ගම්භීරත්වයට සිදුව තිබෙන හානිය සුළුපටු නොවන්නකි. යායුතු මානය සොයා ගත් ගාමිණී මහතා ඇවරියවත්ත දිනපතා පොළට ඉදිරියෙන් වූ පටු මාවතකට මෝටර් රථය හරවා ඉදිරියට යන්නට විය. මම දෙනෙත් කරකවා ඒ පරිසරය දෙස බැලුවෙමි. මහාමාර්ගයට පෙනෙන මේ ප්‍රදේශයේ පිටත පෙනුම තොරම්බල් ලෝකයක්‌ මෙන් දිස්‌ වුවද මහ පාරෙන් මඳක්‌ ඇතුළට ගිය කල්හි තවමත් එහි ඉපැරැණි ගැමි පරිසරය සුරැකී තිබෙන බව විටින් විට පෙනෙන්නට ඇති සාධක නිහඬව කියා සිටී.

අපි තවත් ඉදිරියට ගියෙමු. අවසානයේ ගාමිණී මහතා ඒ මාවතේ එක්‌ නිවසක්‌ අසළ රථය නැවැතීය. "මේ ගෙදර ඉන්නේ රන්සිරිනෙල් වෙදමහත්තයාගේ මුණුබුරෙක්‌.. එයා හිටපු ඉස්‌කෝලේ මහත්තයෙක්‌.. ඔහු ඊළඟ මොහොතේ අප දෙසට හැරී පවසන්නට විය.
මම එකී නිවස දෙස බැලුවෙමි. මැදිවියේ මිනිසෙක්‌ එහි ඉදිරිපස සිටී. රථයෙන් බැසගත් අපි ඒ දෙසට ගියෙමු. නිවසේ සිටි ඔහු ඉතා සුහද ලෙස අපව පිළිගත්තේය. කෙටි වේලාවකට සීමා වූ දැන හඳුනා ගැනීමේ සහ ආගිය කතාවලින් පසුව නමින් පී. බී. කුමාරසිංහ නම් වූ හේ ඒ සැඟවුණු කතාව අපට කියන්නට විය.

මහත්තයෝ.. අපේ තාත්තා රන්සිරිනෙල් වෙද මුත්තගේ පුතෙක්‌. අපේ තාත්තා ඔය රුවන්මැලි සෑය හදන්න මේ ගම්වලින් අපේ මුත්තා මිනිස්‌සු අරගෙන ගිය කතාන්දරේ අපිට කියනවා.

ඒ දවස්‌වල සතියකට සැරයක්‌ ඇවරියවත්ත ඉස්‌ටේෂමෙන් මිනිස්‌සු දෙසීයක්‌ විතර දාගෙන අපේ මුත්තා කෝච්චියෙන් අනුරාධ පුරේ ගිහින් තියෙනවා රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්‌කරණ වැඩවලට සම්මාදම් වෙන්න. අපේ මුත්තා කුමාරසිංහ රනසිරිනෙල් වෙදමහත්තයා තමයි මහත්තයෝ ඒ කාලේ රුවන්මැලි සෑ චෛත්‍ය වර්ධන සමාගමේ සභාපති වෙලා හිටියේ. 

රුවන්මැලි සෑය ප්‍රතිසංස්‌කරණය කරන කටයුත්ත මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ රද්දොළුව පැත්තේ පන්සලක වැඩ හිටපු නාරන්විට සුමනසාර හාමුදුරුවෝ. ඒ 1884 අවුරුද්දේ. උන්වහන්සේ රුවන්මැලි සෑය ප්‍රතිසංස්‌කරණය කරන වැඩේට අතගහල මේ ගම්වල මිනිස්‌සු අරගෙන ගිහින් අවුරුදු විසිඅටක්‌ තිස්‌සේ මේ වැඩේ කරන්න මහන්සි වෙලා තියෙනවා. 

ඒත් අවාසනාවකට උන්වහන්සේට ඒක කරන්න බැරි වෙලා. උන්වහන්සේ අවුරුදු ගණනාවක්‌a තිස්‌සේ හදාගෙන ආපු චෛත්‍යය ආයෙත් එකපාරටම කඩාගෙන වැටිලා. ඒ සිද්ධියෙන් පස්‌සේ සුමනසාර හාමුදුරුවෝ වැඩේ නවත්තලා තියෙනවා. ඒ උන්වහන්සේ තුළ ධෛර්යය නැතිවුණ නිසා නෙවෙයි. අවුරුදු හතළිහක්‌ තිස්‌සේ කරපු වියදම් එක්‌ක ආයෙත් වැඩේ පටන් ගන්න තිබුණු අසීරුව නිසා.

අන්තිමේ 1912 මැදදී තමයි අපේ මුත්තා රුවන්මැලි සෑය ගොඩනගන වැඩේට අතගහලා තියෙන්නේ. ඒ කාලේ ඇවරියවත්ත සුමිත්‍රාරාමයේ නායක හාමුදුරුවන් විදිහට වැඩහිටපු මිනුවන්ගොඩ රතනජෝති නාහිමියන්ගෙන් වගේම පසුකාලෙක සුමිත්‍රාරාමයේ විහාරාධිපති වුණු ඇවරිවත්ත ජිනරතන නාහිමියොත් මේ වැඩේදී මුත්තට අනුශාසනා කරලා තියෙනවා. මේ කතාව අප හා දිගින් දිගටම පවසන්නට වූ රටේ දරුවන්ගේ නැණස පාදන්නට වෙහෙසව අද විශ්‍රාම සුවයෙන් සිටින කුමාරසිංහ ගුරුතුමා මදක්‌ නිහඬ වූයේ එතුමන්ගේ බිරිඳ අප වෙත තේ කෝප්පයකින් සංග්‍රහ කරන්නට ගත් වෙහෙස හමුවේ විය.

එකල කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ පමණක්‌ නොව බොහෝ පළාත්වල නමගිය වෙදැදුරාණන් කෙනකු වූ කුමාරසිංහ රන්සිරිනෙල් වෙදතුමන් මේ පින්බර කටයුත්ත ආරම්භ කිරීමෙන් පසු සිදුව ඇති සිදුවිම්ද රාශියකි. 

වරක්‌ රන්සිරිනෙල් වෙදැදුරුතුමා සතිපතා පිළිවෙළින් කෙරෙන ආකාරයට ගම්පළාතේ මිනිසුන් පිරිසක්‌ රැගෙන හිමිදිරියේම දුම්රියෙන් අනුරාධපුරයට යන්නට පැමිණි මොහොතක එවකට ඇවරියවත්ත දුම්රිය ස්‌ථානයේ සිටි ස්‌ථානාධිපතිවරයා නුරුස්‌සනා අයුරින් මේ මොන මළකරදරයක්‌දැයි පවසා ඇත්තේ හිමිදිරි පාන්දර අවදි වන්නට සිදු වීමේ කෝපයෙනි.

ගුරුකම් සාස්‌ත්‍රයේද කෙළ පැමිණියකුව සිටි රන්සිරිනෙල් වෙද මහතා එහිදී කර ඇත්තේ දුම්රිය ස්‌ථානාධිපතිවරයා දෙස එක එල්ලේ බැල්මක්‌ හෙලීම පමණකි. පුදුමයකට මෙන් එදින ඇවරියවත්තෙන් දුම්රියට නැගී අනුරාධපුරයට ගිය පිරිස සතියකට පසු යළි පැමිණි දිනයේ බරපතල ලෙස රෝගී වූ දුම්රිය ස්‌ථානාධිපතිවරයා මරණයට පත්වූ වග අද ද මේ ගම්මානයන්හි ජනතාව අතර විශ්මය දනවන ලෙස ප්‍රකටව පවතින කතාවකි. 

අපි යළිත් කුමාරසිංහ ගුරුතුමා දෙසට හැරුණෙමු. ඔහු නැවතත් ඒ කතාව අපට කීමට සැරසේ. "මහත්තයෝ. කිව්වට විශ්වාස කරන්න ඒ කාලේ රුවන්මැලි සෑයේ වැඩවලට සල්ලි වියදම් වෙලා තියෙන විදිහ අහනකොට අද ඉන්න දරුවෝ පුදුම වේවි.

ඒ කාලේ චෛත්‍යයේ ඝණ අඩි 100 ක්‌ හදන්න වියදම් වෙලා තියෙන්නේ රුපියල් පනහයි. හතරැස්‌ කොටුවේ ඝණ අඩි සියයක්‌ රුපියල් පනස්‌ පහ ගණනේ කරලා තියෙන්නේ.

මෙහෙම අපේ මුත්තා 1912 දී වැඩේ පටන්ගත්තට පස්‌සේ නාරංවිට සුමනසාර හාමුදුරුවෝ ගොඩනඟලා ඉතුරු වෙලා තිබුණු බදාම ඔක්‌කෝම මුලින්ම ගලවලා අයින් කරලා තියෙනවා. ඒ මේ වැඩේ නියමාකාරයෙන් කරන්න ඔනේ නිසා. 

මෙහෙම චෛත්‍යයේ වැඩ පටන් ගන්නවත් එක්‌කම ඒ කාලේ ආණ්‌ඩුව චෛත්‍යය හදන සැළැස්‌මක්‌ ඉල්ලලා තියෙනවා. ඒ වෙලාවේ මේ සැළැස්‌ම හදලා දීලා තියෙන්නේ කොළඹ සේදවත්තේ හිටපු ඩී. සී. විඡේවර්ධන මහත්තයාගේ උපදෙස්‌ අනුවයි. ඒ කාලේ පුරාවිද්‍යා කොමසාරිස්‌ විදිහට හිටපු හොකාර්ට්‌ කියන සුදු මහත්තයා තමයි ඒක අනුමත කරලා තියෙන්නේ.

මේ කටුනායක ඇවරියවත්තේ විතරක්‌ නෙමේ. මේ පළාතේ තියෙන මඩවල, හීනටියන, රද්දොළුව, මිනුවන්ගොඩ, ආඬිඅම්බලම, කොටුගොඩ, වගේ තවත් ගම්මාන ගණනාවක මිනිස්‌සු ඒ කාලේ අපේ රන්සිරිනෙල් මුත්තත් එක්‌ක මේ පින්කමට එකතු වෙලා තියෙනවා. 

ඒකෙදී ගෑණු පිරිමි බේදයක්‌ තිබුණේ නැහැ. තමන්ට පුළුවන් විදිහට ශ්‍රමය පූජා කරන්න මේ ගම්වල හැමෝම එකතු වුණා. එහෙම රුවන්මැලිසෑයේ වැඩවලට ගිහින් අවුරුදු එකසිය හයක්‌ ජීවත් වෙලා හිටිය අම්මා කෙනෙක්‌ ඇවරියවත්තේ හිටියා.

මහත්තයලා මීට මාස හයකට විතර ඉස්‌සර වෙලා ආවනම් ඒ අම්මව මුණ ගැහෙන්නත් තිබුණා. ඒත් මේ අම්මා මීට මාස හයකට විතර ඉස්‌සර මියගියා. බොහෝම ශාන්ත විදිහට ඒ අම්මගේ මරණේ සිද්ධ වුණේ.

රන්සිරිනෙල් වෙදැදුරන්ට එකල ප්‍රකට දානපතියකු වූ හේනේගම සිටු අප්පුහාමිගේ සහය ළැබුණු හැටි ලබන සතියේ....

සමන් ගමගේ
2012 ජුලි  01 ඉරිදා දිවයින
Related Posts Plugin for WordPress, Blogger...